රංගිරි ශ්‍රී ලංකා මාසික බෞද්ධ සාර සංග්‍රහය

රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සමාරම්භක මුද්‍රිත ප්‍රකාශනය වූ කලී රංගිරි ශ්‍රී ලංකා බෞද්ධ පුවත්පත වේ. මාසික සාර සංග්‍රහයක් ලෙස 2006 වසරේ ජනවාරි මස පුන් පොහෝ දින පුවත්පත ඇරඹිණි.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් සහ උපදේශකත්වයෙන් මෙය එළිදැක්විණි. පුවත්පත අධීක්‍ෂණය වූයේ රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද හිමිපාණන් වහන්සේගේ සුරතිණි.


රංගිරි දඹුලු සංවර්ධන පදනමේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ පුවත්පතට අනතුරුව ආරම්භ වූ රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය එක්වූ විට එය මෙරට ප්‍රථම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනය වීමේ ගෞරවයටද හිමිකම් කීය.
ජන සන්නිවේදනයේ තුන්කල් දුටු නායක මාහිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් රංගිරි ශ්‍රී ලංකා මාධ්‍යයන් ආරම්භයේ සිටම අන්තර්ජාල සේවා හා එක්කෙරිණි.
මේ එහි වඩාත් ඉදිරි පියවරකි.
..


“සැබෑ මාධ්‍ය සංස්කෘතියක පෙර ගමන්කරු” යන උදාර උදාන වාක්‍යයෙන් යුත් රංගිරි මාධ්‍ය නාලිකා මෙන්ම පුවත්පත ද තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ලෝවැසි බෞද්ධයන් වෙත ගෙන යාම සිය මූලික සන්නිවේදන කාර්යය කර ගනී. බුදුදහම, හෙළ බොදුසංස්කෘතිය, පුරාවිද්‍යාව, කලාව සහ සාහිත්‍ය මෙන්ම බෞද්ධ සාරධර්ම ප්‍රචලිත කිරීමද පුවත්පතේ අරමුණවේ.
පාඨකයින් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු සහ ඔවුනගේ අවශ්‍යතා සඳහා ඉඩකඩ ලබා දීම මෙන්ම ඔවුනට හඬක් වීමද පුවත් පතේ අපේක්ෂාව වේ. නව්‍ය ලේඛක පරපුරක් බිහිකිරීම, අතදීමටද රංගිරි ශ්‍රී ලංකා පුවත්පත කැපවී සිටී.


නිවැරදි අර්ථ පූර්ණ ත්‍රිපිටක ධර්මයෙන් ප්‍රඥාව වඩන්නටත් භාවපූර්ණ සාහිත්‍යානන්දයෙන් ජනහද සුවපත් වන්නටත් රංගිරි ශ්‍රී ලංකා පුවත්පත හා එක් වන්නට අපි ඔබට ඇරයුම් කරන්නෙමු.
ස්තූතියි!
තෙරුවන් සරණයි…
!!!